“කාන්තාවන් ලෙස අප බිය වන දේ” යන වාක්‍ය ඛණ්ඩය පැමිණෙන්නේ එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලවල ලිංගික අපයෝජන සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ අල්-ජසීරා විමර්ශන ඒකකයේ ප්‍රබල වාර්තාවකිනි. වාර්තාවේ විස්තර කර ඇති ලිංගික අතවර, අපයෝජන සහ ප්‍රචණ්ඩත්වය සහ කාන්තාවන් ආයතනික අවදානමට ලක්වීම සූරාකෑම මගින් එම කාන්තා සේවිකාවන් දිනපතා සේවා ස්ථානවල අත්විඳින බිය හෙළි කරයි.

කාන්තා සේවිකාවන් රැකියාවේදී ප්‍රචණ්ඩත්වයට සහ අපයෝජනයන්ට මුහුණ දීමට එක් හේතුවක් වන්නේ සේවා ස්ථාන පුරා පැතිරී ඇති ආයතනික සහ එම පද්ධතිය නිර්මාණය වි ඇති ආකාරයේ  අවදානමයි. පසුගිය වසර හතර තුළ හෝටල්, ආපනශාලා, ආහාර සැකසුම් සහ කෘෂිකර්මාන්තයේ කාන්තා වෘත්තීය සංගම් නායකයින් සහ සාමාජිකයින් සමඟ අප කළ වැඩ මත පදනම්ව අපි භෞතික හා ආර්ථික යන අංශ දෙකෙහිම විවිධ ආකාරයේ ආයතනික අවදානම් හඳුනා ගත්තෙමු.

හුදකලා වීම සහ ගමන් කිරීම සම්බන්ධයෙන් කාන්තාවන් භෞතික අවදානම් අත්විඳින ලදී. හුදකලා වීම යනු රැකියා ස්ථානයක බොහෝ පිරිමින් අතර කාන්තාවන් කිහිප දෙනෙකු පමණක් සිටින අතර ඔවුන් අවදානමට ලක්විය හැකි තත්වයන් විය හැකිය. එසේත් නැතිනම් කාන්තාවන් ක්ෂේත්‍රවල,  වතුකරයේ තනිව වැඩ කරමින් සිටි තැන්වල හෝ  නිවෙස්වලට, කාර්යාලවලට ගොස් පොදු මාර්ගවල  අලෙවි සේවිකාවන් ලෙස සේවය කළ අවස්ථා වලදී අවදානමට ලක්විය හැකි ය. ගමන් බිමන් යනු රැකියාවට යාම සහ එහි සිට පැමිණීමේදී අවදානමට ලක්වීමයි. මෙයට ජනාකීර්ණ මිශ්‍ර පොදු ප්‍රවාහනය; සේවායෝජකයා විසින් සපයන ලද ජනාකීර්ණ මිශ්‍ර ප්‍රවාහනය ; රැකියාවට යාම සහ එහි සිට පැමිණීමේදී අතරමගදී හමුවන වාහන වල ගමන් කිරීමට බල කිරීම; නැතහොත් ක්ෂේත්‍රවල වැඩ කිරීමට හෝ ජලය එකතු කිරීමට බොහෝ දුර පයින් යාම ඇතුළත් විය.

අප සාකච්ඡා කළ ආර්ථික දුර්වලතාවයට අඩු වැටුප් හෝ දරිද්‍රතා වැටුප් ඇතුළත් වන අතර ඒවා නිසා  කාන්තාවන්ට ප්‍රචණ්ඩත්වයෙන් ඉවත් වීමට නොහැකි විය. මෙය රැකියා ස්ථානයේ සහ නිවසේ ප්‍රචණ්ඩත්වය යන දෙකටම අදාළ වේ. දරිද්‍රතා වැටුප් ලබන කාන්තාවන් දැනටමත් අවදානමට ලක්ව ඇති අතර වෙනත් රැකියාවක් ලබා ගැනීමට නොහැකි වූ විට, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් මිදීමට අවශ්‍ය ආර්ථික ස්වාධීනත්වය සාක්ෂාත් කර ගැනීමට ඔවුන්ට නොහැකි වේ. අපගේ කාන්තා වෘත්තීය සංගම් නායිකාවන් කිහිප දෙනෙක් කළ තර්කයන්ට අනුකූලව සාමූහික කේවල් කිරීම හරහා සාකච්චා මාර්ගයෙන් ලබාගන්නා යහපත් වැටුපක් හෝ “ජීවන වැටුපක්” කාන්තා සේවිකාවන්ගේ ආර්ථික අවදානම අවම කිරීමට සහ එම අවදානමෙන් පැන නගින ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමට උපකාරී වන බව පෙන්වා දෙයි.

අපගේ සාමාජිකයන් විවිධ ආකාරයේ ආර්ථික අවදානම් පරාසයක් ගැන කතා කළහ. ඒවාට ණය/බැඳුම්කර ශ්‍රමය සහ “දේපල” ලෙස කාන්තාවන් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය; වැන්දඹුවන්ට ඉඩම් අයිතිය සහ රජයේ ප්‍රතිලාභ ලබා ගැනීමට ඇති ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම; කාන්තා සේවිකාවන් පිරිමින්ට ලැබෙන පවුල් ප්‍රතිලාභ ප්‍රතික්ෂේප කිරීම, විශේෂයෙන් නිවාස සහ වතුකරයේ ද්‍රව්‍යමය වශයෙන් ලබාදෙන වැටුප් (උදා: සහල්, ධාන්‍ය වැනි අත්‍යවශ්‍ය ආහාර); බඳවා ගැනීමේ පරිචයන්; සහ අවිනිශ්චිත රැකියා විධිවිධාන ඇතුළත්වේ.

රැකියා සඳහා අයදුම් කිරීමේදී සහ රැකියා ලබා ගැනීමේදී, පරිවාස කාලය සමත්වීමේදී, කාර්ය සාධන ඇගයීම් සමත්වීමේදී, ස්ථිර රැකියා සුරක්ෂිත කිරීමේදී හෝ තාවකාලික කොන්ත්‍රාත්තු අලුත් කිරීමේදී ලිංගික හිරිහැර කිරීම් සහ අපයෝජනයන් බහුලව සිදුවේ. මක්නිසාද යත් කාන්තා සේවිකාවන්ගේ රැකියා සුරක්ෂිතභාවය, ජීවනෝපාය සහ උසස්වීම් පිළිබඳ දැවැන්ත බලය කළමනාකරණ සහ අධීක්ෂණ තනතුරුවල සිටින පිරිමින් අත සංකේන්ද්‍රණය වී ඇති බැවිනි. මෙම බලය නිතිපතා අනිසි ලෙස භාවිතා කරන අතර මෙය වැළැක්වීම සඳහා බොහෝ විට ඵලදායී පියවරයන් නොමැත.

වෙනස් කොට සැලකීම සහ හිරිහැර කිරීම සඳහා ‘ශුන්‍ය ඉවසීමක්’ ප්‍රකාශ කළත්, ලෝකයේ විශාලතම පාරජාතික ආහාර, පාන සහ කෘෂිකාර්මික සමාගම් ඇතුළුව බොහෝ සේවා යෝජකයින් ආර්ථික අවදානම් සහ බලය අනිසි ලෙස භාවිතා කිරීමේ සම්බන්ධතාවයට ආමන්ත්‍රණය කිරීමට කිසිවක් නොකරයි. ඒ වෙනුවට, බොහෝ සේවා යෝජකයින් ආර්ථික වශයෙන් අවිනිශ්චිත රැකියා (අනියම්, තාවකාලික, කම්කරු කුලියට හෝ බාහිරින් ලබා ගැනීම මත පදනම් වූ අනාරක්ෂිත රැකියා) භාවිතා කිරීම ආරක්ෂා කරයි. ඒ සියල්ල නම්‍යශීලී බව සහ කාර්යක්ෂමතාවය මතය. එහෙත් අනාරක්ෂිත රැකියා කාන්තා සේවිකාවන්ගේ ආර්ථික අවධානම සඳහා මූලික මූලාශ්‍රයක් වන අතර, ඔවුන්ගේ කොන්ත්‍රාත්තු අලුත් කරනවාද නැද්ද යන්න තීරණය කරන පිරිමින්ගේ හිරිහැරවලට සහ අපයෝජනයන්ට ඔවුන් නිරාවරණය වේ. එය කාන්තා කම්කරුවන් මුහුණ දෙන භීතියේ මූලික මූලාශ්‍රයකි.

කාන්තාවන්ට තවදුරටත් එම බිය ඇති නොවීමට කටයුතු කිරීම වෘත්තීය සමිති වශයෙන් අපගේ කාර්යභාරයයි. කාන්තා හිංසනය නැවැත්වීමට අප කටයුතු කළ යුතුයි. එහෙත් රැකියාවේදී ආයතනික භීතියේ වඩාත් වැදගත් මූලාශ්‍රවලින් එකක් ඉවත් කිරීමට වෘත්තීය සමිති වශයෙන් අප ක්‍රියා කළ යුතුය: බඳවා ගැනීම්, අවිනිශ්චිත රැකියා සහ අනාරක්ෂිත රැකියා වලින් පැන නගින අනාරක්ෂිතභාවය සහ බිය.

“කාන්තාවන් වශයෙන් අප බිය වන දේ” පිටුපස ඇති බලය සහ අවදානම අප හෙළිදරව් කළ යුතු අතර එයට අපි වෘත්තීය සමිතියක් ලෙස සටන් කළ යුතුය.

නොවැම්බර් 25 දිනට යෙදෙන කාන්තාවන්ට එරෙහි හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයේදී ඔබත් කරුණාකර අප හා එක්ව වෘත්තීය සමිති විසින් වැඩි ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටිමු. එමෙන්ම සෑම දිනකම ඉදිරියට ගොස්, අපි එය ඉටු කරගනිමු. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවැත්වීම සඳහා සියලුම කම්කරුවන් එක්ව, නැගී සිටින කාන්තාවන්, නොබියව වැඩ කරන කාන්තාවන් ආරක්ෂා කිරීමට සහ සහාය දැක්වීමට අපගේ වෘත්තීය සංගමය, අපගේ බලය භාවිතා කළ යුතුය.

 හිදයත් ග්‍රීන්ෆීල්ඩ් , කලාපීය  ලේකම්